Friday, April 25, 2014

දකුණේ පුංචි සිගිරිය

මුල්කිරිගල රජ මහා විහාරය දකුණේ පුංචි සිගිරිය කියන අන්වර්ථ නාමයෙනුත් හැදින්වෙනවා.මුල්කිරිගල වගේම මුල්ගිරිගල කියලත් හදුන්වන්නේ මුල්කිරිගල රජමහා විහාරයමයි.දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල නගරයේ ඉදන් කිලෝමීටර් 20 ක් විතර ගියාම මේ විහාරය මුණ ගැහෙනවා.හුගාක් පැරණි විහාරයක් වන මේ විහාරය මුහුදු මට්ටමින් අඩි 300 ක් විතර උස පර්වතයක තමා පිහිටලා තියෙන්නේ.

විහාරය ඉස්සරහ තියෙන ලොකු බෝර්ඩ් එක

අපි මේ ගමන යන්න පිටත් වුනේ මාතරින් දවල් 1 ට වගේ.ගියේ නම් ඩිස්කවරී 125 මෝටර් බයිසිකලේක.පාර වලුත් හුගක් හොද තත්වයේ තිබුනා.මේ තමා අපි ගියපු මාර්ගය.

මාතර  හක්මන පාරේ කිලෝ මීටර් 8 ක් වගේ ගියාම තිහගොඩ හන්දිය හම්බෙනවා එතනින් දකුණට හැරිලා කිලෝමීටර 11 ක් වගේ ගියාම ගැටමාන්න හන්දිය.එතනින් කිරින්ද බෙලිඅත්ත පාරේ ගියාම බෙලිඅත්ත හන්දියට තමා යන්නේ.බෙලිඅත්තෙන් වීරකැටිය පාරේ කිලෝමීටර 10 ක් වගේ ආවම  හමුවෙනවා  මුල්කිරිගල හන්දිය.එතනින් වමට හැරීලා ආවම මේ පන්සලට එන්න පුළුවන්.

ඒත් ආපහු එද්දී නම් ආවේ දික්වැල්ලට ඇවිත් එතන ඉදන් මුහුද පාරේ.

තව දෙයක් අපිත් පාර අහගෙන තමා ගියේ.මේ පැත්තේ මිනිස්සු හරිම සුහදශීලි.ඒ නිසා මුල්කිරිගල පන්සලට යන්නේ කොහොමද කියල ඇහුවම ඕනෑම කෙනෙක් පාර කියනවා.

මේ විහාරයේ තියෙන ශිලා ලිපියකට අනුව නම් මෙහි පැරණි නම "මුහුන්දගිරි විහාරය" යයි.කාවන්තිස්ස රජතුමා හදපු "සමුද්ද විහාරය"මේ විහාරය වෙන්නැති කියලත් මතයක් තියෙනවා.ජනප්‍රවාද වලට අනුවනම් මේ විහාරය හදලා තියෙන්නේ කාවන්තිස්ස රජතුමාගේ පුතා වුන සද්ධාතිස්ස රජතුමා.තවත් කරුණක් තමයි වංශ කතා වලට අනුව නම් මේ විහාරය සාදවලා තියෙන්නේ 1 වන ජෙට්ටතිස්ස රජතුමා.

කොහොම උනත් ලස්සන විහාරයක්.මෙහි තියෙන ලෙන් විහාර ලස්සන බිතු සිතුවම් වලින් අලංකාර වෙලා තියෙනවා.මෙම සිතුවම් මහනුවර යුගයේ පහතරට (රුහුණු) ශෛලියේ සිතුවම් කියල තමා හොයාගෙන තියෙන්නේ.
මේ සිතුවම තිබ්බේ ලෙන් විහාරයේ.ගලෙහි ඇදපු සිතුවමක් 

මේ පුදබිමෙහි රෝපණය වී ඇති බෝධීන් වහන්සේ දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේලාගෙන් එකක් විදියටත් සලකනවා.

මෙම ලෙන් විහාරය පහත මළුව,මැද මළුව හා උඩ මළුව ලෙස මළු තුනකින් සමන්විතයි.පහත මළුවේ ලෙන් විහාර දෙකක් දක්නට ලැබෙන අතර ලෙන් විහාරයේ දහඅට රියන් සැතපෙන බුදු පිළිම වහන්සේ නමක් සහ තවත් බුද්ධ ප්‍රතිමා වහන්සේලා වැඩ සිටියි.

මෙහි කටාරම් කෙටු තවත් ලෙන් විහාරයක් දක්නට ලැබෙන අතර මැද මලුවෙත් සැතපෙන බුදු පිළිම වහන්සේ නමක් සහ තවත් බුද්ධ ප්‍රතිමා  වහන්සේ නමක් වැඩ සිටියි.

ලෙන් විහාරය ඇතුලත වැඩ හිදින බුද්ධ ප්‍රතිමා වහන්සේ 

උඩහ මළුවේ දෙතිස්ඵලරුහ බෝධීන් වහන්සේ රෝපණය කර ඇති අතර පර්වතයේ චෛත්‍යයක් ද ඉදි කරලා තියෙනවා.උඩහ මළුවේ බෝධීන් වහන්සේ අසලම ගැරඩි කපොල්ල නමින් හදුන්වන ඉතා පටු ශිලා කපොල්ලක් දකින්නට ලැබෙනවා.

උඩ මළුවට යන පඩි පෙළ 


උඩහ මළුවේ සිට බලන විට අවට පරිසරය ඉතා අලංකාරව පේනවා.ඒත් අපි ගියපු දවසේ කාලගුණය එතරම් හොද වුනේ නැති නිසා වැහි වලාකුලෙන් අවට ලස්සන එතරම් බලාගන්න ලැබුනේ නෑ.




උඩ මළුවේ සිට පහල දිස් වෙන අයුරු 

මෙයාගේ නම දන්නේ නෑ.ගොඩක් මේ සත්තු හිටියා 

ලන්දේසීන්ගේ කාලේ එයාල හිතල තියෙන්නේ මෙහි ආදම් සහ ඊවාගේ සොහාන තියෙනවා කියල එනිසා එයාල මේ සිරි පාදය කියල වැරදියට වටහ ගෙනත් හිටියලු.

දකුණු පළාතේ ඇවිදනවානම් මුල්කිරිගල පුදබිමටත් යන්න.හුගාක් පැරණි විහාරයක් වැඳපුදා ගන්න වගේම ලස්සන පරිසරයක් දැක ගන්නත් ඔයාලට පුළුවන් වෙයි.
හුම්මානය බලන්න යන්න හිතාගෙන ආවත් වැස්ස නිසා අපිට යන්න පුළුවන් කමක් වුනේ නෑ.
කොහොමහරි හවස 5 වෙද්දී අපි මාතරට ආව.
(මම මේ වගේ ලිපියක් ලියපු පලවෙනි අවස්තාව.අඩු පාඩු හුගක් ඇති.ඒකට සමාව අයදිමි.)



1 comment:

  1. thawa sancharaka saatahan thibunanam thama wadaa hoda. jayawewaai pathami

    ReplyDelete